Wednesday, October 5, 2016

මරණ බියට වඩා ලොකු බළල් ආදරේ


සිවු වසරක් පුරාවට යුද ගිනිදැල් වලට මැදිවුනු ඇලෙප්පො නුවර මේ වන විට දරුණුම ප්‍රහාර වලට ලක්වී ඇති නගරයක් වන අතර, සිය දිවිගලවා ගැනීමට මේ වන විටත් ඇලෙප්පො නගරයෙන් පුද්ගලයන් 40,000ක් පමණ පලාගොස් තිබේ.
එහෙත් මරණ බිය පසෙක ලා සුන්දර හේතුවකට ඇලෙප්පෝ නුවරම රැඳුනු සුන්දර මිනිසෙකු පිළිබඳව පුවතකි මේ.
ඔහු අලා අල්ජලීල් ය. වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු වන ඔහු යුද්ධයේ ආරම්භයත් සමග ඇලෙප්පො නුවර ගිලන්රථ ධාවනය කරමින් මිනිස් ජීවිත බේරාගැනීමට වෙර දරන්නෙකි.
මෙම සුන්දර මිනිසා රකින්නේ යුද ගින්දැල් වලට කොටු වූ මිනිස් ජීවිතම පමණක් නොවේ.
ඇලෙප්පෝ නගරයේ වෙසෙන බළලුන් 100ක් පමණ ඔහුගේ පිහිට ලබා සිටියි.
යුද්ධයට කොටු වූ මෙම අසරණ සතුන් වෙනුවෙන් අල්ජලීල් විසින් Il Gattaro d’Aleppo නමින් ආරක්ෂිත ස්ථානයක් ද සකස් කොට ඇත.

සිය අපූරු සගයන් ගැන අල්ජලීල් පවසන්නේ මෙලෙසිනි.
“Il Gattaro d’Aleppo මුලින්ම ආරම්භ කළේ පූසන් 20කින්. අවුරුද්දක් විතර යද්දි මෙහෙ පූසො 100ක් විතර... මිනිස්සු නගරෙ දාලා යද්දි, මෙම සත්තු මාව හොයං ආවා. මං පූසන්ට ගොඩක් ආදරෙයි කියල දන්න අයත් යන්න කලින් පූසො මගේ ළඟ තියල ගියා. හිතේ මිනිසුන්ට අනුකම්පාව ඇති අයට අනෙක් හැම ප්‍රාණයක් වෙනුවෙන්ම අනුකම්පාව තියෙනවා,” යැයි ඔහු කියයි.
- ශානි-