Sunday, December 11, 2016

පොලිස් නිල සුනඛ ‘රෙජී’ වාර්තාවක් තබයි



පොලිස් නිල සුනඛ ලිඛිත ඉතිහාසයේ පළමුවරට සැතපුම් විසි දෙකක් දුර ඇවිද ගොස් සිය රාජකාරිය අකුරටම ඉටුකරමින් වාර්තාවක් තැබිමට මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ රෙජී නම් වූ ‍පොලිස් නිල සුනඛයා පසුගියදා සමත් විය. දින හතරක් නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි අයෙක් සොයා ගැනීමට රෙජී නම් නිල සුනඛයා සිදුකළ රාජකාරිය අති මහත්ය.

මේ වාර්තාවට සම්බන්ධ කතාව මෙසේය. පසුගිය 07 වන දින රංගල ‍පොලීසියට කලබලයෙන් යුතුව පැමිණි කාන්තාවකි. ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඊ.එම්.එන්. ඒකනායක මහතා හමුවූ ඇය සර්.... මගේ පුතා අසේල සම්පත්. එයා නකල්ස් රක්ෂිතයේ ගැරඩි ඇල්ල බලන්න තවත් ළමයි කට්ටියක් සමග ගියා. අදට දින දෙකක් ගතවෙලත් පුතා ගැන කිසිම ආරංචියක් නැහැ.. පුතා අතුරුදන් වෙලා.. අනේ සර් කොහොමහරි පුතා හොයලා දෙන්න. යැයි ඇය හඬමින් ස්ථානාධිපතිවරයාට ආයාචනා කරන්න වූවාය.

මෙම අතුරුදන් වු තරුණයා උඩදුම්බර ගලබඩවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ පුංචි අම්මා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියි. පසුගිය දිනෙක මේ පුංචි අම්මාගේ පුතෙකුගේ මිතුරන් කීපදෙනෙක් විනෝද චාරිකාවක් සඳහා ගලබඩවත්ත ප්‍රදේශයට පැමිණ ඇත. ඉන්පසු අසේල සම්පත් සමග එදින සවස ගැරඩි ඇල්ල බැලීම සඳහා මෙම තරුණයින් පිරිස නකල්ස් රක්ෂිතයට ඇතුළු වී තිබේ. ඉතා දුෂ්කර මගක් ඔස්සේ ගැරඩි ඇල්ල අසලට ළඟා වූ තරුණ පිරිසට එහි විනෝද වීමට ඉඩ සලස්වා මග පෙන්වීමට ගිය අසේල සම්පත් ආපසු යළි නිවස බලා පැමිණ තිබුණේ රැකියාවට යාමේ වුවමනාව නිසාය.

කෙසේ හෝ රැයක් පුරා ඇති තරම් විනෝද වූ තරුණ පිරිස පසුදින රක්ෂිත කැලයෙන් එළියට පැමිණියද ඒ වන විටත් මග පෙන්වීමට ගිය අසේල සම්පත් නිවසට පැමිණ තිබුණේ නැත. මේ නිසාම මෙම තරුණ පිරිස නැවත ගම්මුන් සහ ‍පොලීසිය සමග තම මගපෙන්වන්නාව සොයා ගියත් ඔහු ගැන කිසිදු ආරංචියක් දැනගන්නට ලැබුණේ නැත.

අතුරුදන් වූ අසේල සම්පත් පිළිබඳව තුන්වන දිනයටත් කිසිදු ආරංචියක් නොවුණු නිසා 08 වන දින වහා ක්‍රියාත්මක වූ රංගල ‍පොලිස් ස්ථානාධිපතිවරයා විශේෂ කාර්ය බළකායටත් යුද හමුවටත් ‍පොලිස් නිල සුනඛ අංශයටත් මේ බව දන්වා සිටියේය. ඒ අනුව එදින ගම්වාසීන් ‍පොලීසිය හමුදාව සහ විශේෂ කාර්ය බළකා  සෙබලුන් ඇතුළු එකසිය පනහකට අධික පිරිසක් අසේල සම්පත් සොයා කණ්ඩායම් වශයෙන් නකල්ස් රක්ෂිතයට ඇතුළු විය.

මෙහිදී මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර මහතාද රංගල ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම මත අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට නිල සුනඛයෙකුගේ සහය ලබා දීමට තීරණය කර තිබිණි. කුලසේකර මහතාද කලක් රංගල ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිසා ඔහුටද මෙම රක්ෂිතය පිළිබඳ මනා වැටහීමක් තිබිණි.
අධික ලෙස කූඩැල්ලන්ට සහ කිනිතුල්ලන්ට ඔරොත්තු දෙන දැඩි ඉවක් සහිත රෙජී නම් නිල සුනඛයා ඒ සදහා යෙදවීමට කුලසේකර මහතා තීරණය කළේය.

රෙජී (1178) නම් වූ නිල සුනඛයා බාරව කටයුතු කළේ ‍පොලිස් කොස්තාපල් නලින් විජේසිරි (67126) මහතාය. ඔහුගේ සහයට ‍පොලිස් කොස්තාපල් සිරිවර්ධන (76722) සහ ‍පොලිස් කොස්තාපල් ආනන්ද (17042) යන නිලධාරීන්ද එක්ව සිටියහ. මෙම භාර දූර කාර්යයට පෙර රෙජීට මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ ඉව ලබාදිය යුතුව තිබිණි. ඒ සඳහා අසේල සම්පත්ගේ නිවසේ තිබූ ඔහු අඳින ලද ඇඳුමකින් ඒ ඉව රෙජී ලබාදීමට නලින් මහතා කටයුතු කළේය. අතුරුදන් වූ අසේල සමග ගිය එක් අයෙක් සමග තවත් කීපදෙනෙක් ආරක්ෂාව සඳහා කැති ‍පොලු රැගෙන රක්ෂිතය තුළට ගමන් කරන්නට විය. ඒ සමගම රක්ෂිතයට ඇතුළු වීමට පෙර කැ‍ලේ අරක්ගත් දෙවියන්ට කොළ අතු එල්ලීමටද ගම්මුන් අමතක නොකළේය.
මෙම රක්ෂිතය තුළ කිසිදු දුරකථනයකට සංඥා නොමැති වීමද මෙම කටයුත්ත තවතවත් බරපතළ කරවන්නට විය. එහෙත් ඒ අභියෝගය තරම් නොවුවේ රෙජී නිසාය.

රෙජී එක එල්‍ලේම අසේල සම්පත්ගේ ඉව ඔස්සේ රක්ෂිතය තුළට ඇදී ගියේය. රෙජීටත් ඔහු බාරව ගමන් කළ නලින් මහතාටත් මෙය අති දුෂ්කර  ගමනක් විය. සතුන්ගේ වියරු ශබ්ද මෙන්ම කූඩැල්ලන්ගේ ප්‍රහාරද රෙජීට සහ අනෙක් පිරිසටද නොඅඩුව ලැබිණි. ගිරි හෙල් ජල පහරවල් මතින් යන මේ අයගේ ගමන අති දුෂ්කර විය. නමුත් මෙම පිරිසට පාර කියන්නේ රෙජීය. දිය කඩිති අසලදී වරෙක රෙජී අන්දමන්ද වන්නේය. වහා ඒ බව තේරුම්ගත් ‍පොලිස් කොස්තාපල් නලින් මහතා නැවත වරක් අතුරුදන් වූ පුද්ගලයාගේ ඇඳුමේ ඉව රෙජීට ලබා දීමට කටයුතු කළේය. ඉන් තවත් ඉදිරියට ගිය විට හමුවන බාධක නිසා රෙජීට යාගත නොහැකි තැන්වල කිලෝ ග්‍රෑම් හතළිස් පහක් පමණ බරැති රෙජී වඩාගෙන යාමටද ‍පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට සිදුවිය.

මේ ආකාරයට රක්ෂිතයේ සැතපුම් ගණනාවක් ඇතුළට ගමන් කරමින් සිටින විට එක් වරම සහයට ගිය ගම්වාසියෙක් සර් ඔහොම නවතින්න දිවියෙක්... දිවියෙක් යනුවෙන් කෑ ගසන්නට විය. ඔවුන් සිටි තැනට මීටර් පන්සියයක් පමණ දුරින් අඩි හතක් පමණ දිග දිවියෙක් ගල් තලාවක් මත වැතිර සිටින අයුරු සියල්ලන්ගේම නෙත ගැටිණි. මෙහිදී රෙජී බාරව සිටි නලින්ට දැඩි අභියෝගයක් වූයේ දිවියාගෙන් තම නිල සුනඛයා ආරක්ෂා කර ගැනීමය. නලින් ඒ සඳහා වහා පියවර ගනු ලැබිය.

'අපි ආපස්සට යමුද නලින් රෙජීගේ ආරක්ෂාව පතා පැවැසීය. 'නෑ සර් අපි ඌව එලවා දමමු පැමිණ සිටි තරුණයින් පැවැසීය. ඔවුන් එක් වරම කෑකෝ ගසමින් මහත් ශබ්ද නැගීය. ඒ ශබ්දය ඇසුණු දෙස මදක් හිස ඔසවා බැලු දිවියා සෙමින් නැගිට වනය තුළට රිංගා ගියේය.
මෙහිදී කැලය පිළිබඳ දන්නා කෙනෙකු සඳහන් කළේ සර් සාමන්‍යයෙන් අප කැ‍ලේට එනවිට දිවියන් අපට මගහැර යනවා. නමුත් ඔහොම දිගා ව ඉන්නවා කියන්නේ අහළ පහළ ඌට යම් ගොදුරක් තිබෙන නිසයි. ඒ කියමනත් සමග කාගේත් සිත් සලිත වන්නට විය. මග පෙන්වීමට ගිය අසේල සම්පත්ට අනතුරක්ද යන්න ඔවුන් කල්පනා කරන්නට විය.

මේ වන විට රෙජීගේ ඉව මත කැලෑව තුළ කිලෝමීටර් විස්සකට අධික දුරක් මෙම පිරිස ගමන් කරමින් තිබිණි. ඒ අතරතුරේදී වරින්වර නලින් රෙජීගේ සිරුරේ සිටි කූඩැල්ලන් ගලවා දමා පිරිසිදු කිරීමටද කටයුතු කළේය.
මේ ආකාරයට කාලය ගෙවී යද්දී දිවියා සිටි තැනට ආසන්නයේ තවත් ගල්ලෙනක් ඇත. එය අලුගල්ලෙන නමින් හඳුන්වන ගල්ලෙනකි. මේ ගල්ලෙන ආසන්නයේ මංමුලා වැල් එමටය. ඒ නිසාම සියල්ලෝම වඩා ප්‍රවේශම් වූහ.

කෙසේ හෝ මේ ගල්තලාව අසල අවසානයේදී රෙජී නතර විය. ඊළඟට ඒ අවට ඉවකළ රෙජී එක්වරම බිම දිගාවිය. ඒ ඉරියව්ව දුටු නලින්ගේ සිතට යම් සැනසිල්ලක් ඇති විය. මේ රෙජී බිම දිගා වුණා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එකයි. නලින් අනෙක් අයට පවසන්නට විය. අතුරුදන් වු අසේල සම්පත් මේ ආසන්නයේ ඉන්න ඕනේ. රෙජීට එතනට යන්න බැරිකම නිසා තමයි එයා මේ දිගාවෙලා ඉන්නෙ නලින් යළිත් කියන්නට විය.

කෙසේ හෝ අවසානයේදී රෙජී නැවතුණු ගල් තලාවෙන් බිමට වැටී සිටි අසේල සම්පත්ව සොයා ගැණිනි.
ගල්තලාවෙන් වැටිලා මගේ කකුලත් කැඩිලා.. ඇවිදින්න බැහැ. අසේල අපහසුවනේ යුතුව කීවේය.
දින තුනක් තිස්සේ නිරාහාරව සිටින අසේල සම්පත්ට අවසානයේදී ආහාර පාන ලබාදී කැලයේ ලී වලින්ම සකසා ගත් ඇඳක තබාගෙන රැගෙන ආවේ තවත් කිලෝමීටර් හයකට වඩා දුරින් පිහිටි මී මුරේ ගම්මානයටය. කෙසේ හෝ මෙම සිදුවීමත් සමග සැතපුම් 22 පමණ දුර ඉව කරමින් ගොස් සිය රාජකාරිය මැනවින් ඉටු කළ රෙජී නිල සුනඛ ලිඛිත ඉතිහාසයේ නමක් රැඳවීමටද සමත් විය.

ගයා  වන්නිආරච්චි

No comments:

Post a Comment