Friday, July 29, 2016

වකුගඩු රෝගයේ සුලමුල සොයයි

වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීම සඳහා ජාන සහ ප‍්‍රවේණි උපයෝගී කරගත් නව පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය සහ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් සිදු කරයි.
තවමත් වකුගඩු රෝගය ඇතිවීමට නිසි හේතුකාරකයක් සොයාගෙන නොමැති අතර මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ එහි යම් හෝඩුවාවක් සොයාගැනීමයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞම්‍යා වික‍්‍රමසිංහ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදු කරයි. මේ සඳහා මුල්‍ය දායකත්වය සපයනු ලබනුයේ ජාතික පර්යේක්ෂණ සභාව මගිනි.
‘‘දැනට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් සිටිනවා. එහෙත් මෙම රෝගයට හේතුව තවම හොයාගෙන නැහැ. පාරිසරික හේතු මත බොහෝ පර්යේෂණ කෙරුණත් වකුගඩු රෝගයට බලපාන ජාන සහ ප‍්‍රවේණි විද්‍යාත්මක අංශය ගැන පර්යේෂණ සිදුවෙලා තියෙන්නේ අඩුවෙන්. මා සිතන පරිදි මෙම රෝගයට පරිසරය සහ ජාන අතර අන්තර් සබඳතාවක් තියෙනවා. අපි මෙම පර්යේෂණය තුළින් වකුගඩු රෝගයට බලපාන මෙම අන්තර් සම්බන්ධතාවය ගැන පර්යේෂණ සිදු කරනවා. එහිදී අපට ආවේණික හේතුකාරකයක් සොයාගැනීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා.
වකුගඩු රෝගීන් සම්බන්ධව පර්යේෂණ සිදුකරන අපේ විශේෂිත පර්යේෂණ කණ්ඩායමක් ඉන්නවා. ඒ අනුව ගිරාඳුරුකෝට්ටේ ගින්නෝරුව ප‍්‍රදේශයෙන් එම සාම්පල් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම පර්යේෂණය හරහා රෝගීන්ගේ සක‍්‍රීයව ප‍්‍රකාශනය වන ජාන මෙන්ම පරිසරයේ ජාල ප‍්‍රභවවල සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩී.එන්.ඒ පිටපත්වල තොරතුරු විශ්ලේෂණය කිරීමටත් සැලසුම් සකස්කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නවීන තාක්‍ෂණය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ඩේවිස් සහ නවසීලන්තයේ මැසී යන විශ්ව විද්‍යාලවල සහාය ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම පර්යේෂණය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත්, මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ප‍්‍රදීපා ගුණතිලක සහ වෛද්‍ය සම්පත් ලොකු ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙයට සහයෝගය ලබාදෙනවා.’’ යැයි සෞම්‍යා වික‍්‍රමසිංහ මහත්මිය පැවැසුවාය.
2016 ජූලි මස 28 15:48:15 | . , ගයාන් සූරියආරච්චි

No comments:

Post a Comment