Tuesday, August 9, 2016

පශු වෛද්‍යවරු ලෙඩ වෙයි


පශු වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටලු  සංශෝධනය කිරීම, පළාත් රාජ්‍ය සේවයේ දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරී තනතුර පළමු ශ්‍රේණියේ තනතුරක් බවට පත් කර පුරප්පාඩු සියල්ල පිරවීම, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඉටු කරන ලෙස ඉල්ලමින් දිවයිනේ සියලුම පශු වෛද්‍යවරුන් අද (09) වැඩවර්ජනයක නිරත විය.
සිය ඉල්ලීම් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති නමුත් මේ දක්වා විසදුම් නොලැබීම හේතුවෙන් අද (09)  හා හෙට (10) ලෙඩ නිවාඩු දමා වැඩවර්ජනය කළ බව රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් පී.එල්.කුමාරවඩු මහතා පැවසීය.

තම සංගමයට අයත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් පශු වෛද්‍යවරු, සත්ත්ව උද්‍යාන, කටුනායක ගුවන් තොටුපොල, හම්බන්තොට හා කොළඹ වරායෙහි සත්ත්ව නිරෝධයන ඒකක, වන ජීවි දෙපාර්තමේන්තුව, නාගරික පශු වෛද්‍ය නිලධාරීන් 700ක් පමණ මේ අයුරින් වැඩවර්ජනය කරන බවත් තම සංගමයේ අරමුණ වන්නේ මහජනයා අසීරුතාවට පත් කිරීම නොව සිය ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමු කර ගැනීම යැයි ඒ මහතා කීවේය.

තමන් අද (09) ආරම්භ කරන ලද වර්ජනය සඳහා සියලුම පශු වෛද්‍යවරුන් එක්වූ බවත් මේ හේතුවෙන් සත්ත්ව ප්‍රතිකාර කටයුතු රැසක් අඩාල වී තිබුණු බව කී ඒ මහතා යම් අවස්ථාවක හදිසි තත්ත්වයන් සඳහා පශු වෛද්‍යවරුන් සේවයට යොමු කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව කීවේය.
මහනුවර ඇසළ පෙරහැර රාජකාරී සඳහා පශු වෛද්‍යවරුන් යොදවා ඇති බවත් ඔවුන් මානුෂීය රාජකාරී හේතුවෙන් අඛණ්ඩව සේවය කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

වරාය ගුවන්තොටුපොළ ඔස්සේ කුරුළු උණ, සූකර උණ  වැනි සත්ත්වයන්ගෙන් මිනිසාට වැළදිය හැකි රෝග පරික්ෂා කිරීම පශු වෛද්‍යවරුන්ගේ රාජකාරියක් වන බවත් එවැනි කටයුතු මේ වන විට අඩාල වී තිබෙන බව ද එම සංගමයේ ලේකම්වරයා කීවේය.
මහජනයා මේ අවස්ථාවේදී අසීරුතාවට පත්වන්නේ ඉහළ නිලධාරීන්ගේ හා දේශපාලන අධිකාරියේ වරදින් යැයි කී ලේකම්වරයා සිය ගැටලු සඳහා විසදුම් නොලැබෙන්නේ නම් මෙවැනි  වර්ජනයක් නොව අඛණ්ඩව දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් පී.එල්. කුමාරවඩු මහතා කීවේය.
මෙම වර්ජනය හේතුවෙන් පේරාදෙනියේ පිහිටි පශු රෝහල කරා රෝග හේතුවෙන් රැගෙන විත් සිටි බල්ලන්, බළලුන් ඇතුලු සතුන් රැසක් ප්‍රතිකාර කළ නොහැකිව රැගෙන යාමට එහි පැමිණි අයට සිදුවිය.

No comments:

Post a Comment