Tuesday, August 9, 2016

පශු වෛද්‍ය වර්ජනයෙන් භයානක රෝග රැසක්‌ පැතිරීමේ අවදානමක්‌ !

වෘත්තීය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අනිද්දා (9 වැනිදා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පශු වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන හේතුවෙන් රට තුළ කුරුළු උණ (Avian Influenza) සූකර උණ (Swine Fever) ඇතුළු රෝග රැසක්‌ ව්‍යාප්ත වීමේ අවදානමක්‌ පවතී යෑයි වාර්තා වේ.
දිනපතා ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මස්‌ වර්ග කුකුළු පැටවුන් ඌරු පැටවුන් ඇතුළු විවිධ සත්ත්වයන් කොළඹ වරාය සහ කටුනායක සත්ත්ව නිරෝධායන ආයතනය මගින් දැඩි පරීක්‍ෂාවකට ලක්‌ කොට සතුන් රට තුළට ඇතුළු කරගන්නා බවත් මෙම තත්ත්වය ඇනහිටීමෙන් ගැටලු රැසක්‌ උද්ගත වන බවත් පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැවසීය.

සත්ත්ව නිරෝධායන ආයතනය, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිටින පශු වෛද්‍යවරු හත්සියයකට අධික සංඛ්‍යාවක්‌ මෙම වැඩ වර්ජනයට සහභාගී වීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා කීය.

  • ·  වසර 2013 හඳුන්වා දුන් සේවා ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම,
  • ·   පශු වෛද්‍ය නිලධාරීන් එස්‌. එල්. 2 වැටුප් පරිමාණයේ පිහිටුවීම,
  • · දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරි තනතුර 1 වැනි පන්තියේ තනතුරක්‌ බවට පත්කිරීම,
  • ·       පුරප්පාඩු පිරවීම

යන ඉල්ලීම් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් පශු වෛද්‍යවරුන් ඉදිරි 9 සහ 10 දෙදින අසනීප නිවාඩු දමමින් වැඩ වර්ජනය කිරීමට තීරණය කර ඇති බවද වෛද්‍ය කුමාරවඩු මහතා පැවසීය.

අදාළ ඉල්ලීම් සහ වැඩ වර්ජනය පිළිබඳව ග්‍රාමීය සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා දැනුවත් කළ අවස්‌ථාවේදී ඒ මහතා කළ "රජයේ වෛද්‍යවරුන් වර්ජනය කළහොත් රෝගීන් දැඩි අසීරුතාවයකට ලක්‌ව කෑගසන නමුත් පශු වෛද්‍යවරු වර්ජනය කළ විට සත්තු කෑ ගසන්නදැයි" යන ප්‍රකාශය හරහා පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය හෑල්ලුවට ලක්‌කිරීම කනගාටුවට කරුණක්‌ බවද ඒ මහතා කීය.

No comments:

Post a Comment