Thursday, August 11, 2016

වැඩවර්ජනය අස්සේ අලි වැඩක් කළ පශු වෛද්‍යවරයා

මේ දිනවල රටපුරා පශු වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වේ. ඒ සිය ඉල්ලීම් කෙරෙහි රජය යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි. මෙම වෘත්තීය ක්‍රියාමර්ගයේ නිරතව සිටි පශු වෛද්‍යවරයෙකු වැඩවර්ජනය අමතක කර දමා අසාධ්‍ය අලියෙකුට ප්‍රතිකාර කිරීමේ පුවතක් උඩවලව ප්‍රදේශයෙන් වාර්තා වේ.
ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාට ආරංචි වී ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ඇතෙකු ඉතා අසාධ්‍යව වැටී සිටින බවයි. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අමතක කළ ආනන්ද ධර්මකීර්ති මහතා වහා ගොස් එම ඇතාට ප්‍රතිකාර ලබාදී තිබේ. 
 
ධර්මකීර්ති මහතා පවසන්නේ මෙම ඇතාගේ ශරීරයේ වෙඩි සළකුණු කිහිපයක් දක්නට ලැබුණු බවයි. එසේම වලිගයට ද හානි සිදුව තිබෙන බව වාර්තා වේ.
 
රුහුණු ගැටව් යනුවෙන් හැඳින්වෙන කුරු අලි විශේෂයට අයත් මෙම ඇතා දැනට ඉතිරිව ඇති එම වර්ගයේ අලින් දස දෙනාගෙන් එකෙකු වේ.
 
මේ පිළිබඳව අදහස් දක්වන ධර්මකීර්ති මහතා 'මිනිස්සු ලෙඩඋනාම කොහෙට හරි ගිහින් බෙහෙත් ගන්නවා. අසනීපයක් උනාම කාටහරි කියන්න පුලුවන්. නමුත් මේ සතුන් ලෙඩඋනාම කාටවත් කියන්න බෑ. අනෙක් කාරණය තමයි මේ ඇතා මිට කලින් උඩවලව ජාතික උද්‍යානයේ නොදැකපු ඇතෙක්. මේ වගේ දල තියෙන ඇතෙක් මම දැකල තියෙන්නේ යාල තිලක් කියන ඇතා විතරයි. මේ ඇතා ගොඩාක් අසාධ්‍ය තත්වයේ ඉන්නේ' යනුවෙන් ප්‍රකාශ කළේය.
 
වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින සමහර වෘත්තිකයන් සහ රජයේ සේවකයන් මහජනතාවට ඇතිවන ගැටලුවකදී පවා තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට දමා මුණිවත රකින වකවානුවක මෙම පශු වෛද්‍යවරයාගේ ක්‍රියාව අගේ කළයුතු බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

No comments:

Post a Comment