Sunday, December 11, 2016

පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල භීෂණයේ අඳුරු වලාවන් දුරලමු!


විශ්වවිද්‍යාල භූමියක තබා විවෘත සමාජයේ වුව කිසිසේත් අනුමත කල නොහැකි බලාපොරොත්තු විය නොහැකි ඉතාමත් කණගාටුදායක තත්වයක් මේ වන විට පශු වෛද්‍ය පීඨය තුල නිර්මාණය වී ඇත.පශු වෛද්‍යවරුන් බිහි කරන ලංකාවේ එකම ආයතනය වන පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය තුල මේ වන විට ඇති වී ඇති තත්වය පිලිබඳව මේ වන විට ඔබ දැනුවත්ව ඇති බව සිතමු. විවිධ වු අවාසනාවන්ත සිදුවීම් හා ඒකාධිපති තීරණ හමුවේ නිරන්තරයෙන් පශු වෛද්‍ය පීඨ සිසුන්ට සිදු විය. නමුත් ඉතාමත්ම ලැජ්ජා සහගත, සමාජ සාරධර්ම පරයා යමින් ලංකාවේ එකම පශු වෛදය පීඨයට මහත් කැලලක් වන ලෙස පීඨයේ කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් සිදු වූ මෙම සිද්ධිය අප ඉතාම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
සිදුවීමේ කරැණු මෙසේය. 2016-12-08 දින පශු වෛද්‍ය පීඨයේ 2014 වසර කණ්ඩායමට පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණි. ඒ අනුව එම වසර කණ්ඩාමේ සිසුන් රෝහලට පැමිණි අතර, ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරය තුලට සිසු පිරිස ඇතුලු වන විටත් එය තුල පීඨයේ නවක වසර කණ්ඩායම වන 2015 කණ්ඩායම රුඳී සිටියහ එමෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දිරා ද සිල්වා, සායනික වෛද්‍ය ලක්ෂිත නානායක්කාර යන අය ශ්‍රවණාගාරය තුල සිට ඇත. ඊට අමතරව අවසන් වසර ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද මේ වන විට සිට ඇත ශ්‍රවණාගාරය තුලට සිසුන් ඇතුලත් වූ විගස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දිරා ද සිල්වා පැමිණි ශිෂ්‍ය ශිෂයාවන් 49 දෙනෙකුගේ නාම ලේඛණයක් කියවා ඇත.ඒ අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයපාලක මහාචාර්ය අශෝක දංගොල්ල එම ස්ථානයට පැමිණ නාමලේඛණයේ නම් ඇති සිසුන් ඉදිරියට පැමිණෙන ලෙස අණ කර ඇත. එමෙන්ම එහිදී පරුෂ වචනයෙන් බැණ වැදීම සිදු කර ඇත. ඒත් සමගම ”උඔලා මෙතනට ගන්නුවේ ඇයි” දැයි අසමින් ඉන්දිරා සිල්වා තර්ජනය ආරම්භ කළ අතර ලක්ෂිත නානායක්කකාර හා අවසන් වසර සිසුන් එම පරුෂ වචනයෙන් බැණ වැදීම සිදු කර ඇත අත් ඉහලට ඔසවා සිටීමට අපහසු සිසුවියන්ට පරුෂ ලෙස බැණ වදිමින් එම ඉරියව්වේම රැඳී සිටින ලෙස බල කර ඇත. මේ අතරතුර විනයපාලක විසින් සිසුන් දෙදෙනෙකු දණ ගස්වා ඇත ලක්ෂිත ඇතුලු අනෙකුත් අවසන් වසර සිසුන් පිරිස දණ ගැසු සිසුන්ට අතින් පයින් පහර දීම සිදු කර ඇත. මේ සියල්ල වීඩියෝ ගත කරන ලෙස මහාචාර්ය ඉන්දිරා අණකර ඇත.
තවද උඔලාට “degree ගන්න දෙන්නෙ නෑ, උඔලාට Final year යන්න දෙන්නෙ නෑ, exam repeat කරනවා, Batch miss කරනවා “ තර්ජනය කරමින් උපාධිය ඇපයට ගෙන සිසුන්ට බැණ වැදීම මහාචාර්ය ඉන්දිරා සිල්වා විසින් දිගින් දිගටම සිදු කර ඇත. මෙලෙස විවිධ පරුෂ වචන කියමින් බැණ වැදෙමින් මරණ තර්ජන කරමින් පැය 2 ක පමණ කාලයක් ශික්ෂණ රෝහල තුල සිසිුන් රඳවාගෙන දැඩි ලෙස මානසික හා කායික වධයන්ට යොමු කර ඇත. මෙම කායික හා මානසික වධ හිංසන ක්‍රියාවලිය හේතුවෙන් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කෙරුණි. රෝහලටත් මහාචාර්ය අශෝක දංගොල්ල ගේ සෘජු මැදිහත්වීමෙන් සිසුන් රෝහල් ගත කිරීම ප්‍රතික්ෂේප වීමක්ද සිදුවිය. එමෙන්ම රෝහල් ගත කල ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවක් මධ්‍යම රාත්‍රියේදී රෝහලෙන් ඉවත්කිරීම හා ක්ලාන්තය ඇති වු සිසුවියට ගැස්ට්‍රයිටිස් ලෙස රෝග විනිස්චය කිරීමද සිදු කර ඇත. මෙම අසාධාරණය පිළිබඳව පේරාදෙණිය පොලිස් ස්ථානයට ගිය සිසුන්ට විනය පාලකගේ බලපෑම මත පොලිසියෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය.
පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල පවතින ඒකාධිපති පාලනය පිලිබඳව සිසුන්ට මෙන්ම උපාධිධාරී පශු වෛද්‍ය වරුන්ටද ඇත්තේ මහත් අප්‍රසාදයකි. රෝහල තුලදී ස්වාධීන මතයක් දැරීමේ මූලික මිනිස් අයිතිවාසිකම පවා සිසුන්ට අහිමි වේ. එහි රජ වන්නේ මහාචාර්ය ඉන්දිරාගේ නීතිරීති පමණි. දේශණ වලට සිසුන් පැමිණිය යුතුද නැද්ද යන්න තීරණය වන්නේ මහාචාර්යතුමියගේ ඔිනෑ එපාකම් මතයි. රෝහල තමාගේ පෞද්ගලික බූදලයක් බව පවසමින් පෞද්ගලික අමනාපකම් ඇති සිසුන්ට රෝහල තුල සායනික පුහුණුව ලැබීමට ඇති අයිතිය පවා උල්ලංගණය කිරීමට සිදු වේ.
උක්ත කායික මානසික වධ හිංසන පැමිණවීමේ සිද්ධියට අදාලව පීඨ ශිෂ්‍ය සංගමය ලෙස විශවවිද්‍යාලයීය පරිපාලනය, පීඨ පරිපාලනය ඇතුලු අදාල වග කිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීම සිදු කර ඇත. අත්තනෝමතික ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හා මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් මහාචාර්ය ඉන්දිරා ද සිල්වා විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කර ඇත.
එමෙන්ම මෙම අසාධාරණය පිළිබඳව උපකුලපති දැනුවත් කර සාධාරණ යුක්තියක් ලබා දෙන ලෙස බල කරමින් සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කලෙමු. ඊට පසු දින උපකුලපති සමග පැවති සාකච්ඡාවේදී එකග වූ පරිදි විශ්වවිද්‍යාලයීය විනයපාලක ඉවත් කර ඇත. උපකුලපති සාකච්ඡාවේ එකග වූ අනෙක් කරුණ වන්නේ උක්ත සිද්ධියට අදාලව ක්‍රමවත් විනය පරීක්ෂණයක් පවත්වන බවත්, මහාචාර්ය ඉන්දිරා හා මහාචාර්ය දංගොල්ල පීඨයේ අධ්‍යයන කටයුතු වලින් ඉවත් කිරීමට හෝ ඔවුන් දිගටම අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වේ නම් එම විභාග අවස්ථා වලදි උත්තර පත්‍ර පරීක්ෂාවට වෙනත් ආචාර්යවරු දෙදෙනෙක් පත් කිරීම හා අවශ්‍ය නම් ලකුණු ලබා දුන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සිසුන්ට ඉඩ ලබා දීමයි.
මේ සියලු තත්වයන් සලකා බැලීමේදී ශිෂ්‍ය සංගමය ලෙස අපගේ ඉල්ලීම වන්නේ හුදෙක් උක්ත ආචාර්යවරුන් දෙදෙනා පිලිබඳ තීරණයක් ගැනීම හෝ ඔවුන් ඉවත් කිරීම නොව නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් උපාධිය හදාරන පශු වෛද්‍ය ශිෂ්‍යන්ට නිදහසේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවකාශ ලබා දෙන ලෙස ඉල්ලීමයි. තම උපාධිය ඇපයට ගන්නා අත්තනෝමතික ඒකාධිපති පුද්ගලයන්ගේ අතකොලු වීමට කිසිඳු ශිෂ්‍යයෙකු කැමැත්ත නොදක්වයි. එම නිසා පශු වෛද්‍ය ශික්ෂණ රෝහල නිදහසේ අධ්‍යයන කටයුතු කිරීමට හැකි ස්ථනයක් බවට පරිවර්ථනය වීම අපගේ බලාපොරොත්තුවයි. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ උපාධිධරයන් ලෙස ඔබ සියලු දෙනාට මතක් කිරීමට ඇති කාරණය නම් ඔබ පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුලදී මුහුණ දුන් කටුක අමිහිරි මානසික වධ හිංසනය පිලිබඳවයි. එමෙන්ම අප ඔබට ආමන්ත්‍රණය කරන්නේ මින් ඉදිරියටවත් පශු ශික්ෂණ රෝහල නිදහස් අධ්‍යයන භූමියක් බවට පත් කිරීමට ඔබගේ උපරිම දායකත්වය ලබා දෙන ලෙසයි. ඒ සඳහා පශු දෛද්‍යවරුන් ලෙස ඔබ සියලු දෙනා අත්වැල් බැඳ ගනීවි යැයි දැඩිසේ විශ්වාස කරන්නෙමු.

2 comments: