Tuesday, December 13, 2016

සිසුන්ට කායික පීඩා කළා…සිසුන්, එහෙම කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ... මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී නවක වද සිද්ධිය සම්බන්ධයෙන්  කිසිදු කායික පීඩාවක් සිසුන්ට එල්ල නොකළ බව එම පීඨයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා මහත්මිය පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වදය බහුලවම සිදුවන්නේ පශු වෛද්‍ය පීඨයේදී බැවින් තමන්ගේ ද සහභාගීත්වයෙන් ජ්‍යේෂඨ සිසුන් දැනුවත් කිරීමක් කළ බවත් එහිදී සිසුන්ට උපදෙස් ලබාදීම කළා හැර කායික පිඩාවක් නොවු බව මාධ්‍ය හමුවකදී මහාචාර්යවරිය සදහන් කළාය.

කථා කිරීමට නොහැකි චින්තන ශක්තියෙන් අඩු සත්වයන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍ය සිසුන් විසින් නවක වදය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම සිදු නොවිය යුක්තක් බව බව ඇය ප්‍රකාශ කළාය.  සතුන්ට ප්‍රතිකාර කිරීම සදහා ඉහළ මානසිකත්වයක් තිබියු යුතු බවත් එවැනි මානසිකත්වයකින් යුතු ජේ්‍යෂ්ඨ සිසුන් නවක සිසුන්ට නවක වදය ලබාදීම මෙම පීඨය තුළ කිසිසේත්ම සිදු නොවිය යුතු යැයි කී මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා මහත්මිය මෙසේ සදහන් කළාය.

උසස් පෙළ විභාගය සමත්වීමට අපහසු විභාගයක්. නමුත් එම විභාගය ඉහළින් සමත්වී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන සිසුන්ගෙන් සියයට අනූවක් විශ්ව විද්‍යාලයේ පළමු වසර විභාගයෙන් අසමත් වෙනවා. අවම වශයෙන් එක් විෂයක් හෝ අසමත් වෙනවා. නමුත් ඒ විභාගය අසීරු විභාගයක් නොවෙයි.

උසස් පෙළ වැනි අසීරු විභාගයක් සමත්වන සිසුන් පළමු වසර විභාගය අසමත්වීමෙන් පෙනී යන්නේ ඔවුන් නිසි ලෙස විෂයට යොමුවී නැති බවයි. පළමු වසර සිසුන්ට විෂයට යොමු වීමට නොහැකිවී ඇත්තේ නවක වදය හා සම්බන්ධ සිද්ධීන් හේතුවෙන්. පළමු වසර සිසුන් නවක වදයට ලක්වන අතර පසුව ඔවුන් ශීෂ්‍ය විමුක්ති ක්‍රියාවලි සදහා යොමු වෙනවා. පස්වරුවේ දේශන අවසන් වූ පසු පෝස්ටර් ඇලවීමට යන සිසුවා යළි සිය නේවාසිකාගාරයට පැමිණෙන්නේ මධ්‍යම රාත්‍රිය පසුවූ විටයි. යළි ඔහු පසුවදා උදේ අට පමණ වන විට දේශන සදහා සහභාගී විය යුතුයි. යළි රාත්‍රියේ බැනර් ඇදීම, පෝස්ටර් ඇලවීම වැනි කටයුතු සදහා පැමිණිය යුතුයි. මෙවැනි ක්‍රියාවලියක සිටින සිසුන්ට විභාග සමත්වීමට හැකියාවක් නැහැ.

නවක සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සදහා සහභාගී නොවන්නේ නම් ඔවුන්ට උපාධි විභාගය සමත් විය නොහැකි යැයි නවක වදය ක්‍රියාත්මක කරන ජ්‍යේෂ්ඨ සිසුන් පවසනවා. එය විහිලුවක්. ආචාර්ය මහාචාර්ය වරුන්ගේ උපදෙස් ලැබිය යුතු විශ්ව විද්‍යාලයක නවක සිසුන්ට උපදෙස් ලබා දෙන්නේ නවක සිසුන්ට වඩා එක් වසරකින් ඉහළ සිසුන් විසින්. මෙවැනි සිසු ක්‍රියාකාරීත්වයන් වහා නතර කළ යුතුයි. සිසුන් අතර සමගිය සහෝදරත්වය තිබිය යුතු නමුත් මෙවැනි පටු ආකල්පවලින් යුතු ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය නැහැ.

පළමු වසර විභාගය අසමත් වුවත් එක් සිසුවෙකුගේ උපාධි පාඨමාලා සදහා රජය රුපියල් මිලියන පහක පමණ වියදමක් කරනවා. ඒ සියල්ල සදහා වැය කරන්නේ ජනතාවගේ මහජන මුදල්. මහජන මුදලින් නඩත්තුවන විශ්ව විද්‍යාලතුළ අනවශ්‍ය නවක වදය ක්‍රියාත්මක නොවිය යුතු යැයි මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.



සිසුන් පිරිසක් කැදවා ඔවුන් කායික හා මානසික වශයෙන් පීඩාවට පත්කළා…

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ විනය පාලකවරයා විසින් සිසුන් කිහිපදෙනනෙකු කායික වශයෙන් පීඩාවට පත් කළ බව කියමින් විශ්ව විද්‍යාල සිසුන්   සනාථන මන්දිරය ඉදිරිපිට සිට උද්ඝෝෂණයක නිරත වූහ.

විශ්ව විද්‍යාලයට නවක සිසුන් බදවා ගත් අවස්ථාවක නවක වදය සිදු නොකළ යුතු යැයි පැවසීම සදහා සිසුන් පිරිසක් කැදවා ඔවුන් කායික හා මානසික වශයෙන් පීඩාවට පත් කළ බව උද්ඝෝෂණයට එක් වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සිසුවා පැවසීය.

පශු වෛද්‍ය පීඨයේ කාමරයකට සිසුන් කැදවා විනය පාලකවරයා හා තවත් කිහිපදෙනෙකු සිසුන් දණ ගැස්වීමට කටයුතු කළ බව කී මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මෙසේ ද කීහ.

මේ පීඩනය නිසා ශිෂ්‍යාවක ඇතුලුව සිසුන් තිදෙනෙකු මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබනවා. සිසුන්ට කායික හා මානසික පීඩනය එල්ල කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. අපි මේ ක්‍රියාව හෙළා දකිනවා. එමෙන්ම මේ පිළිබදව විශ්ව විද්‍යාලයේ පරිපාලනය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා තීරණය සම්බන්ධයෙන් අප අඛණ්ඩව විමසිල්ලෙන් ඉන්නවා.

මේ වන විට විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ තොරතුරු පොලීසිය වෙත ලබාදී හමාරයි. ඔවුන් පොලීසිය, විනය ආරක්ෂක නිලධාරීන් යොදා ගනිමින් සිසුන් මර්ධනය කිරීමට කටයුතු කරනවා. සිසු ක්‍රියාකාරකම්වලට පිවිසෙන සිසුන්ට උපාධිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරන බව ද ඔවුන් දෙමාපියන්ට පවා දුරකථනවලින් අමතා පවසන බව මංගල මද්දුමගේ සිසුවා ප්‍රකාශ කළේය.

මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් සනාථන මන්දිරය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සදහා විශ්ව විද්‍යාලයේ සිසුන් දහසකට ආසන්න පිරිසක් සහභාගීවිය.
නදීක දයා බණ්ඩාර – මහනුවර





No comments:

Post a Comment