Monday, December 12, 2016

බ්‍රොයිලර් කුකුළු මස්‌ ආහාරයට ගැනිමෙන් බැක්‌ටීරියා ආසාදන ඇතිවිමේ අවදානමක්

බ්‍රොයිලර් කුකුළු මස්‌ වැඩිපුර ආහාරයට ගැනිමෙන් බැක්‌ටීරියා ආසාදන රෝගවලට ගොදුරු වීමේ අවදානමක්‌ ඇති බව ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ 29 වන අගහරුවාදා ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී ඇය කියා සිටියේ මස් ආහාරයට ගැනීම සදහා ගොවිපළවල ඇති කරන බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් සහ ඌරන් වැනි සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය කරගැනීමට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම හේතුවෙන් එවැනි මස්‌ වර්ග ආහාරයට ගැනීමෙන් බැක්‌ටීරියා රෝගවලට ගොදුරු විය හැකි බවයි.
එම රෝග සදහා ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් විට ඊට එම බැක්‌ටීරියා විරුද්ධව ක්‍රියා කිරීම නිසා නොයෙකුත් බැක්‌ටීරියා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම ශ්‍රී ලංකාවේ ඉහළ ගොස්‌ ඇති බවද ඇය පැවසීය.
මෙවැනි ආහාර වර්ග පරිභෝජනය කිරීම සීමා කළ යුතු බවත්, ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතය සීමා කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. 

Sunday, December 11, 2016

පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල භීෂණයේ අඳුරු වලාවන් දුරලමු!


විශ්වවිද්‍යාල භූමියක තබා විවෘත සමාජයේ වුව කිසිසේත් අනුමත කල නොහැකි බලාපොරොත්තු විය නොහැකි ඉතාමත් කණගාටුදායක තත්වයක් මේ වන විට පශු වෛද්‍ය පීඨය තුල නිර්මාණය වී ඇත.පශු වෛද්‍යවරුන් බිහි කරන ලංකාවේ එකම ආයතනය වන පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය තුල මේ වන විට ඇති වී ඇති තත්වය පිලිබඳව මේ වන විට ඔබ දැනුවත්ව ඇති බව සිතමු. විවිධ වු අවාසනාවන්ත සිදුවීම් හා ඒකාධිපති තීරණ හමුවේ නිරන්තරයෙන් පශු වෛද්‍ය පීඨ සිසුන්ට සිදු විය. නමුත් ඉතාමත්ම ලැජ්ජා සහගත, සමාජ සාරධර්ම පරයා යමින් ලංකාවේ එකම පශු වෛදය පීඨයට මහත් කැලලක් වන ලෙස පීඨයේ කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් සිදු වූ මෙම සිද්ධිය අප ඉතාම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
සිදුවීමේ කරැණු මෙසේය. 2016-12-08 දින පශු වෛද්‍ය පීඨයේ 2014 වසර කණ්ඩායමට පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණි. ඒ අනුව එම වසර කණ්ඩාමේ සිසුන් රෝහලට පැමිණි අතර, ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරය තුලට සිසු පිරිස ඇතුලු වන විටත් එය තුල පීඨයේ නවක වසර කණ්ඩායම වන 2015 කණ්ඩායම රුඳී සිටියහ එමෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දිරා ද සිල්වා, සායනික වෛද්‍ය ලක්ෂිත නානායක්කාර යන අය ශ්‍රවණාගාරය තුල සිට ඇත. ඊට අමතරව අවසන් වසර ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද මේ වන විට සිට ඇත ශ්‍රවණාගාරය තුලට සිසුන් ඇතුලත් වූ විගස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දිරා ද සිල්වා පැමිණි ශිෂ්‍ය ශිෂයාවන් 49 දෙනෙකුගේ නාම ලේඛණයක් කියවා ඇත.ඒ අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයපාලක මහාචාර්ය අශෝක දංගොල්ල එම ස්ථානයට පැමිණ නාමලේඛණයේ නම් ඇති සිසුන් ඉදිරියට පැමිණෙන ලෙස අණ කර ඇත. එමෙන්ම එහිදී පරුෂ වචනයෙන් බැණ වැදීම සිදු කර ඇත. ඒත් සමගම ”උඔලා මෙතනට ගන්නුවේ ඇයි” දැයි අසමින් ඉන්දිරා සිල්වා තර්ජනය ආරම්භ කළ අතර ලක්ෂිත නානායක්කකාර හා අවසන් වසර සිසුන් එම පරුෂ වචනයෙන් බැණ වැදීම සිදු කර ඇත අත් ඉහලට ඔසවා සිටීමට අපහසු සිසුවියන්ට පරුෂ ලෙස බැණ වදිමින් එම ඉරියව්වේම රැඳී සිටින ලෙස බල කර ඇත. මේ අතරතුර විනයපාලක විසින් සිසුන් දෙදෙනෙකු දණ ගස්වා ඇත ලක්ෂිත ඇතුලු අනෙකුත් අවසන් වසර සිසුන් පිරිස දණ ගැසු සිසුන්ට අතින් පයින් පහර දීම සිදු කර ඇත. මේ සියල්ල වීඩියෝ ගත කරන ලෙස මහාචාර්ය ඉන්දිරා අණකර ඇත.
තවද උඔලාට “degree ගන්න දෙන්නෙ නෑ, උඔලාට Final year යන්න දෙන්නෙ නෑ, exam repeat කරනවා, Batch miss කරනවා “ තර්ජනය කරමින් උපාධිය ඇපයට ගෙන සිසුන්ට බැණ වැදීම මහාචාර්ය ඉන්දිරා සිල්වා විසින් දිගින් දිගටම සිදු කර ඇත. මෙලෙස විවිධ පරුෂ වචන කියමින් බැණ වැදෙමින් මරණ තර්ජන කරමින් පැය 2 ක පමණ කාලයක් ශික්ෂණ රෝහල තුල සිසිුන් රඳවාගෙන දැඩි ලෙස මානසික හා කායික වධයන්ට යොමු කර ඇත. මෙම කායික හා මානසික වධ හිංසන ක්‍රියාවලිය හේතුවෙන් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කෙරුණි. රෝහලටත් මහාචාර්ය අශෝක දංගොල්ල ගේ සෘජු මැදිහත්වීමෙන් සිසුන් රෝහල් ගත කිරීම ප්‍රතික්ෂේප වීමක්ද සිදුවිය. එමෙන්ම රෝහල් ගත කල ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවක් මධ්‍යම රාත්‍රියේදී රෝහලෙන් ඉවත්කිරීම හා ක්ලාන්තය ඇති වු සිසුවියට ගැස්ට්‍රයිටිස් ලෙස රෝග විනිස්චය කිරීමද සිදු කර ඇත. මෙම අසාධාරණය පිළිබඳව පේරාදෙණිය පොලිස් ස්ථානයට ගිය සිසුන්ට විනය පාලකගේ බලපෑම මත පොලිසියෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය.
පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල පවතින ඒකාධිපති පාලනය පිලිබඳව සිසුන්ට මෙන්ම උපාධිධාරී පශු වෛද්‍ය වරුන්ටද ඇත්තේ මහත් අප්‍රසාදයකි. රෝහල තුලදී ස්වාධීන මතයක් දැරීමේ මූලික මිනිස් අයිතිවාසිකම පවා සිසුන්ට අහිමි වේ. එහි රජ වන්නේ මහාචාර්ය ඉන්දිරාගේ නීතිරීති පමණි. දේශණ වලට සිසුන් පැමිණිය යුතුද නැද්ද යන්න තීරණය වන්නේ මහාචාර්යතුමියගේ ඔිනෑ එපාකම් මතයි. රෝහල තමාගේ පෞද්ගලික බූදලයක් බව පවසමින් පෞද්ගලික අමනාපකම් ඇති සිසුන්ට රෝහල තුල සායනික පුහුණුව ලැබීමට ඇති අයිතිය පවා උල්ලංගණය කිරීමට සිදු වේ.
උක්ත කායික මානසික වධ හිංසන පැමිණවීමේ සිද්ධියට අදාලව පීඨ ශිෂ්‍ය සංගමය ලෙස විශවවිද්‍යාලයීය පරිපාලනය, පීඨ පරිපාලනය ඇතුලු අදාල වග කිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීම සිදු කර ඇත. අත්තනෝමතික ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හා මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් මහාචාර්ය ඉන්දිරා ද සිල්වා විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කර ඇත.
එමෙන්ම මෙම අසාධාරණය පිළිබඳව උපකුලපති දැනුවත් කර සාධාරණ යුක්තියක් ලබා දෙන ලෙස බල කරමින් සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කලෙමු. ඊට පසු දින උපකුලපති සමග පැවති සාකච්ඡාවේදී එකග වූ පරිදි විශ්වවිද්‍යාලයීය විනයපාලක ඉවත් කර ඇත. උපකුලපති සාකච්ඡාවේ එකග වූ අනෙක් කරුණ වන්නේ උක්ත සිද්ධියට අදාලව ක්‍රමවත් විනය පරීක්ෂණයක් පවත්වන බවත්, මහාචාර්ය ඉන්දිරා හා මහාචාර්ය දංගොල්ල පීඨයේ අධ්‍යයන කටයුතු වලින් ඉවත් කිරීමට හෝ ඔවුන් දිගටම අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වේ නම් එම විභාග අවස්ථා වලදි උත්තර පත්‍ර පරීක්ෂාවට වෙනත් ආචාර්යවරු දෙදෙනෙක් පත් කිරීම හා අවශ්‍ය නම් ලකුණු ලබා දුන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සිසුන්ට ඉඩ ලබා දීමයි.
මේ සියලු තත්වයන් සලකා බැලීමේදී ශිෂ්‍ය සංගමය ලෙස අපගේ ඉල්ලීම වන්නේ හුදෙක් උක්ත ආචාර්යවරුන් දෙදෙනා පිලිබඳ තීරණයක් ගැනීම හෝ ඔවුන් ඉවත් කිරීම නොව නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් උපාධිය හදාරන පශු වෛද්‍ය ශිෂ්‍යන්ට නිදහසේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවකාශ ලබා දෙන ලෙස ඉල්ලීමයි. තම උපාධිය ඇපයට ගන්නා අත්තනෝමතික ඒකාධිපති පුද්ගලයන්ගේ අතකොලු වීමට කිසිඳු ශිෂ්‍යයෙකු කැමැත්ත නොදක්වයි. එම නිසා පශු වෛද්‍ය ශික්ෂණ රෝහල නිදහසේ අධ්‍යයන කටයුතු කිරීමට හැකි ස්ථනයක් බවට පරිවර්ථනය වීම අපගේ බලාපොරොත්තුවයි. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ උපාධිධරයන් ලෙස ඔබ සියලු දෙනාට මතක් කිරීමට ඇති කාරණය නම් ඔබ පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුලදී මුහුණ දුන් කටුක අමිහිරි මානසික වධ හිංසනය පිලිබඳවයි. එමෙන්ම අප ඔබට ආමන්ත්‍රණය කරන්නේ මින් ඉදිරියටවත් පශු ශික්ෂණ රෝහල නිදහස් අධ්‍යයන භූමියක් බවට පත් කිරීමට ඔබගේ උපරිම දායකත්වය ලබා දෙන ලෙසයි. ඒ සඳහා පශු දෛද්‍යවරුන් ලෙස ඔබ සියලු දෙනා අත්වැල් බැඳ ගනීවි යැයි දැඩිසේ විශ්වාස කරන්නෙමු.

පොලිස් නිල සුනඛ ‘රෙජී’ වාර්තාවක් තබයි



පොලිස් නිල සුනඛ ලිඛිත ඉතිහාසයේ පළමුවරට සැතපුම් විසි දෙකක් දුර ඇවිද ගොස් සිය රාජකාරිය අකුරටම ඉටුකරමින් වාර්තාවක් තැබිමට මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ රෙජී නම් වූ ‍පොලිස් නිල සුනඛයා පසුගියදා සමත් විය. දින හතරක් නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි අයෙක් සොයා ගැනීමට රෙජී නම් නිල සුනඛයා සිදුකළ රාජකාරිය අති මහත්ය.

මේ වාර්තාවට සම්බන්ධ කතාව මෙසේය. පසුගිය 07 වන දින රංගල ‍පොලීසියට කලබලයෙන් යුතුව පැමිණි කාන්තාවකි. ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඊ.එම්.එන්. ඒකනායක මහතා හමුවූ ඇය සර්.... මගේ පුතා අසේල සම්පත්. එයා නකල්ස් රක්ෂිතයේ ගැරඩි ඇල්ල බලන්න තවත් ළමයි කට්ටියක් සමග ගියා. අදට දින දෙකක් ගතවෙලත් පුතා ගැන කිසිම ආරංචියක් නැහැ.. පුතා අතුරුදන් වෙලා.. අනේ සර් කොහොමහරි පුතා හොයලා දෙන්න. යැයි ඇය හඬමින් ස්ථානාධිපතිවරයාට ආයාචනා කරන්න වූවාය.

මෙම අතුරුදන් වු තරුණයා උඩදුම්බර ගලබඩවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ පුංචි අම්මා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියි. පසුගිය දිනෙක මේ පුංචි අම්මාගේ පුතෙකුගේ මිතුරන් කීපදෙනෙක් විනෝද චාරිකාවක් සඳහා ගලබඩවත්ත ප්‍රදේශයට පැමිණ ඇත. ඉන්පසු අසේල සම්පත් සමග එදින සවස ගැරඩි ඇල්ල බැලීම සඳහා මෙම තරුණයින් පිරිස නකල්ස් රක්ෂිතයට ඇතුළු වී තිබේ. ඉතා දුෂ්කර මගක් ඔස්සේ ගැරඩි ඇල්ල අසලට ළඟා වූ තරුණ පිරිසට එහි විනෝද වීමට ඉඩ සලස්වා මග පෙන්වීමට ගිය අසේල සම්පත් ආපසු යළි නිවස බලා පැමිණ තිබුණේ රැකියාවට යාමේ වුවමනාව නිසාය.

කෙසේ හෝ රැයක් පුරා ඇති තරම් විනෝද වූ තරුණ පිරිස පසුදින රක්ෂිත කැලයෙන් එළියට පැමිණියද ඒ වන විටත් මග පෙන්වීමට ගිය අසේල සම්පත් නිවසට පැමිණ තිබුණේ නැත. මේ නිසාම මෙම තරුණ පිරිස නැවත ගම්මුන් සහ ‍පොලීසිය සමග තම මගපෙන්වන්නාව සොයා ගියත් ඔහු ගැන කිසිදු ආරංචියක් දැනගන්නට ලැබුණේ නැත.

අතුරුදන් වූ අසේල සම්පත් පිළිබඳව තුන්වන දිනයටත් කිසිදු ආරංචියක් නොවුණු නිසා 08 වන දින වහා ක්‍රියාත්මක වූ රංගල ‍පොලිස් ස්ථානාධිපතිවරයා විශේෂ කාර්ය බළකායටත් යුද හමුවටත් ‍පොලිස් නිල සුනඛ අංශයටත් මේ බව දන්වා සිටියේය. ඒ අනුව එදින ගම්වාසීන් ‍පොලීසිය හමුදාව සහ විශේෂ කාර්ය බළකා  සෙබලුන් ඇතුළු එකසිය පනහකට අධික පිරිසක් අසේල සම්පත් සොයා කණ්ඩායම් වශයෙන් නකල්ස් රක්ෂිතයට ඇතුළු විය.

මෙහිදී මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර මහතාද රංගල ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම මත අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට නිල සුනඛයෙකුගේ සහය ලබා දීමට තීරණය කර තිබිණි. කුලසේකර මහතාද කලක් රංගල ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිසා ඔහුටද මෙම රක්ෂිතය පිළිබඳ මනා වැටහීමක් තිබිණි.
අධික ලෙස කූඩැල්ලන්ට සහ කිනිතුල්ලන්ට ඔරොත්තු දෙන දැඩි ඉවක් සහිත රෙජී නම් නිල සුනඛයා ඒ සදහා යෙදවීමට කුලසේකර මහතා තීරණය කළේය.

රෙජී (1178) නම් වූ නිල සුනඛයා බාරව කටයුතු කළේ ‍පොලිස් කොස්තාපල් නලින් විජේසිරි (67126) මහතාය. ඔහුගේ සහයට ‍පොලිස් කොස්තාපල් සිරිවර්ධන (76722) සහ ‍පොලිස් කොස්තාපල් ආනන්ද (17042) යන නිලධාරීන්ද එක්ව සිටියහ. මෙම භාර දූර කාර්යයට පෙර රෙජීට මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ ඉව ලබාදිය යුතුව තිබිණි. ඒ සඳහා අසේල සම්පත්ගේ නිවසේ තිබූ ඔහු අඳින ලද ඇඳුමකින් ඒ ඉව රෙජී ලබාදීමට නලින් මහතා කටයුතු කළේය. අතුරුදන් වූ අසේල සමග ගිය එක් අයෙක් සමග තවත් කීපදෙනෙක් ආරක්ෂාව සඳහා කැති ‍පොලු රැගෙන රක්ෂිතය තුළට ගමන් කරන්නට විය. ඒ සමගම රක්ෂිතයට ඇතුළු වීමට පෙර කැ‍ලේ අරක්ගත් දෙවියන්ට කොළ අතු එල්ලීමටද ගම්මුන් අමතක නොකළේය.
මෙම රක්ෂිතය තුළ කිසිදු දුරකථනයකට සංඥා නොමැති වීමද මෙම කටයුත්ත තවතවත් බරපතළ කරවන්නට විය. එහෙත් ඒ අභියෝගය තරම් නොවුවේ රෙජී නිසාය.

රෙජී එක එල්‍ලේම අසේල සම්පත්ගේ ඉව ඔස්සේ රක්ෂිතය තුළට ඇදී ගියේය. රෙජීටත් ඔහු බාරව ගමන් කළ නලින් මහතාටත් මෙය අති දුෂ්කර  ගමනක් විය. සතුන්ගේ වියරු ශබ්ද මෙන්ම කූඩැල්ලන්ගේ ප්‍රහාරද රෙජීට සහ අනෙක් පිරිසටද නොඅඩුව ලැබිණි. ගිරි හෙල් ජල පහරවල් මතින් යන මේ අයගේ ගමන අති දුෂ්කර විය. නමුත් මෙම පිරිසට පාර කියන්නේ රෙජීය. දිය කඩිති අසලදී වරෙක රෙජී අන්දමන්ද වන්නේය. වහා ඒ බව තේරුම්ගත් ‍පොලිස් කොස්තාපල් නලින් මහතා නැවත වරක් අතුරුදන් වූ පුද්ගලයාගේ ඇඳුමේ ඉව රෙජීට ලබා දීමට කටයුතු කළේය. ඉන් තවත් ඉදිරියට ගිය විට හමුවන බාධක නිසා රෙජීට යාගත නොහැකි තැන්වල කිලෝ ග්‍රෑම් හතළිස් පහක් පමණ බරැති රෙජී වඩාගෙන යාමටද ‍පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට සිදුවිය.

මේ ආකාරයට රක්ෂිතයේ සැතපුම් ගණනාවක් ඇතුළට ගමන් කරමින් සිටින විට එක් වරම සහයට ගිය ගම්වාසියෙක් සර් ඔහොම නවතින්න දිවියෙක්... දිවියෙක් යනුවෙන් කෑ ගසන්නට විය. ඔවුන් සිටි තැනට මීටර් පන්සියයක් පමණ දුරින් අඩි හතක් පමණ දිග දිවියෙක් ගල් තලාවක් මත වැතිර සිටින අයුරු සියල්ලන්ගේම නෙත ගැටිණි. මෙහිදී රෙජී බාරව සිටි නලින්ට දැඩි අභියෝගයක් වූයේ දිවියාගෙන් තම නිල සුනඛයා ආරක්ෂා කර ගැනීමය. නලින් ඒ සඳහා වහා පියවර ගනු ලැබිය.

'අපි ආපස්සට යමුද නලින් රෙජීගේ ආරක්ෂාව පතා පැවැසීය. 'නෑ සර් අපි ඌව එලවා දමමු පැමිණ සිටි තරුණයින් පැවැසීය. ඔවුන් එක් වරම කෑකෝ ගසමින් මහත් ශබ්ද නැගීය. ඒ ශබ්දය ඇසුණු දෙස මදක් හිස ඔසවා බැලු දිවියා සෙමින් නැගිට වනය තුළට රිංගා ගියේය.
මෙහිදී කැලය පිළිබඳ දන්නා කෙනෙකු සඳහන් කළේ සර් සාමන්‍යයෙන් අප කැ‍ලේට එනවිට දිවියන් අපට මගහැර යනවා. නමුත් ඔහොම දිගා ව ඉන්නවා කියන්නේ අහළ පහළ ඌට යම් ගොදුරක් තිබෙන නිසයි. ඒ කියමනත් සමග කාගේත් සිත් සලිත වන්නට විය. මග පෙන්වීමට ගිය අසේල සම්පත්ට අනතුරක්ද යන්න ඔවුන් කල්පනා කරන්නට විය.

මේ වන විට රෙජීගේ ඉව මත කැලෑව තුළ කිලෝමීටර් විස්සකට අධික දුරක් මෙම පිරිස ගමන් කරමින් තිබිණි. ඒ අතරතුරේදී වරින්වර නලින් රෙජීගේ සිරුරේ සිටි කූඩැල්ලන් ගලවා දමා පිරිසිදු කිරීමටද කටයුතු කළේය.
මේ ආකාරයට කාලය ගෙවී යද්දී දිවියා සිටි තැනට ආසන්නයේ තවත් ගල්ලෙනක් ඇත. එය අලුගල්ලෙන නමින් හඳුන්වන ගල්ලෙනකි. මේ ගල්ලෙන ආසන්නයේ මංමුලා වැල් එමටය. ඒ නිසාම සියල්ලෝම වඩා ප්‍රවේශම් වූහ.

කෙසේ හෝ මේ ගල්තලාව අසල අවසානයේදී රෙජී නතර විය. ඊළඟට ඒ අවට ඉවකළ රෙජී එක්වරම බිම දිගාවිය. ඒ ඉරියව්ව දුටු නලින්ගේ සිතට යම් සැනසිල්ලක් ඇති විය. මේ රෙජී බිම දිගා වුණා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එකයි. නලින් අනෙක් අයට පවසන්නට විය. අතුරුදන් වු අසේල සම්පත් මේ ආසන්නයේ ඉන්න ඕනේ. රෙජීට එතනට යන්න බැරිකම නිසා තමයි එයා මේ දිගාවෙලා ඉන්නෙ නලින් යළිත් කියන්නට විය.

කෙසේ හෝ අවසානයේදී රෙජී නැවතුණු ගල් තලාවෙන් බිමට වැටී සිටි අසේල සම්පත්ව සොයා ගැණිනි.
ගල්තලාවෙන් වැටිලා මගේ කකුලත් කැඩිලා.. ඇවිදින්න බැහැ. අසේල අපහසුවනේ යුතුව කීවේය.
දින තුනක් තිස්සේ නිරාහාරව සිටින අසේල සම්පත්ට අවසානයේදී ආහාර පාන ලබාදී කැලයේ ලී වලින්ම සකසා ගත් ඇඳක තබාගෙන රැගෙන ආවේ තවත් කිලෝමීටර් හයකට වඩා දුරින් පිහිටි මී මුරේ ගම්මානයටය. කෙසේ හෝ මෙම සිදුවීමත් සමග සැතපුම් 22 පමණ දුර ඉව කරමින් ගොස් සිය රාජකාරිය මැනවින් ඉටු කළ රෙජී නිල සුනඛ ලිඛිත ඉතිහාසයේ නමක් රැඳවීමටද සමත් විය.

ගයා  වන්නිආරච්චි

Wednesday, October 5, 2016

මරණ බියට වඩා ලොකු බළල් ආදරේ


සිවු වසරක් පුරාවට යුද ගිනිදැල් වලට මැදිවුනු ඇලෙප්පො නුවර මේ වන විට දරුණුම ප්‍රහාර වලට ලක්වී ඇති නගරයක් වන අතර, සිය දිවිගලවා ගැනීමට මේ වන විටත් ඇලෙප්පො නගරයෙන් පුද්ගලයන් 40,000ක් පමණ පලාගොස් තිබේ.
එහෙත් මරණ බිය පසෙක ලා සුන්දර හේතුවකට ඇලෙප්පෝ නුවරම රැඳුනු සුන්දර මිනිසෙකු පිළිබඳව පුවතකි මේ.
ඔහු අලා අල්ජලීල් ය. වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු වන ඔහු යුද්ධයේ ආරම්භයත් සමග ඇලෙප්පො නුවර ගිලන්රථ ධාවනය කරමින් මිනිස් ජීවිත බේරාගැනීමට වෙර දරන්නෙකි.
මෙම සුන්දර මිනිසා රකින්නේ යුද ගින්දැල් වලට කොටු වූ මිනිස් ජීවිතම පමණක් නොවේ.
ඇලෙප්පෝ නගරයේ වෙසෙන බළලුන් 100ක් පමණ ඔහුගේ පිහිට ලබා සිටියි.
යුද්ධයට කොටු වූ මෙම අසරණ සතුන් වෙනුවෙන් අල්ජලීල් විසින් Il Gattaro d’Aleppo නමින් ආරක්ෂිත ස්ථානයක් ද සකස් කොට ඇත.

සිය අපූරු සගයන් ගැන අල්ජලීල් පවසන්නේ මෙලෙසිනි.
“Il Gattaro d’Aleppo මුලින්ම ආරම්භ කළේ පූසන් 20කින්. අවුරුද්දක් විතර යද්දි මෙහෙ පූසො 100ක් විතර... මිනිස්සු නගරෙ දාලා යද්දි, මෙම සත්තු මාව හොයං ආවා. මං පූසන්ට ගොඩක් ආදරෙයි කියල දන්න අයත් යන්න කලින් පූසො මගේ ළඟ තියල ගියා. හිතේ මිනිසුන්ට අනුකම්පාව ඇති අයට අනෙක් හැම ප්‍රාණයක් වෙනුවෙන්ම අනුකම්පාව තියෙනවා,” යැයි ඔහු කියයි.
- ශානි-





Thursday, September 1, 2016

“සරණ“ට රඟපාන පූස් පැටියාගේ ඇත්ත නම ‘පැටී’ – පැටී “සරණ“ වුණු විදිය මෙන්න..!

මේ දවස් වල ෆේස්බුක් සහ සමාජජාලා වෙබ් අඩවි හරහා වැඩිපුර කතා වෙන දෙයක් තමයි “සරණ ” කවුද ඉතින් මේ සරණ කියන්නේ ‘සරණ’ කියන්නේ සිදු ටෙලිනාට්යේ ඉන්නන බළල් තඩියෙක් ඉතින් සරණ ගැන ගොඩක් අය කතාවෙන නිසා ඉතින් අපි හිතුවා ‘සරණ’ ගැන ඔයාල නොදන්නා දෙයක් ගැන කියන්න ඉතින් මේ ‘සරණ’ කියන බළල් තඩියාගේ විස්තර සරනගේ අයිතිකරු සහ සිදු ටෙලිනාටයේ රචකයා වන සමන් එදිරිමුණි මහතා අද ඔහුගේ ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර තිබුණේ මෙලෙසිනි,
සරණ, ‘සරණ’ වූනේ කොහොමද…?
මගෙන් ගොඩක් අය ඇහුව දෙයක් තමයි සිඳු එකේ පූසට ‘සරණ’ කියන නම දැම්මෙ ඇයි කියලා. ඒක අහපු ප්‍රමාණය වැඩි නිසාත් ‘සරණ’ දැන් ගොඩක් ජනප්‍රිය නිසාත් හේතුව කියන්නම්.
ගොඩක් ගෙවල් වල බුදු පිළිම කැඩුණාම මිනිස්සු ඒව ගිහින් දාන්නේ පන්සලේ බෝ ගහ යටට. පූසියෝ දාන අහඹු පැටව් රංචු පිටින් ගිහින් දාන්නේ පන්සල් ඉස්සරහට. නිකං නෙමෙයි පොලිතින් උර වල දාලා. සමහර පැටව් ඒ කවර ඇතුලෙම මැරෙනවා කාගෙවත් නෙත නොගැටී. මම දන්නවා සමහර මිනිස්සු එහෙම කරන්නෙ ඇයි කියලා. ඒත් එහෙම කරන අයගෙ හිත රිදුනොත් කියලා ඒ ගැන අපි කතා නොකර ඉමු.
සෝරත පොඩි හාමුදුරුවෝ දවසක් ගමනක් වැඩලා ආපිටට පන්සලට වඩිද්දී පන්සල ඉදිරිපිට පිවිසුම අසල කවරයක් සර සර හඬින් සෙලවෙනවා. සෝරත පොඩිනම බිය වුණත් ඒ වෙත ලං වෙලා බලනවා. එතකොට කවරෙන් බෙල්ල එළියට දාලා පූස් පැටියෙක් ඥාව් කියනවා. අනේ ඉතින් සෝරත පොඩි නමට හරි ආසා හිතෙනවා. පන්සලට අරන් ගිහින් හදාවඩා ගන්නවා. අසරණ වෙලා සරණක් හොයාගෙන ආපු පූස් පැටියෙක් නිසා සෝරත ඒ පූසට ‘සරණ’ කියන නම දානවා. ඔන්න එහෙමයි සරණට නම වැටුනේ.
සරණට රඟපාන පූස් පැටියගේ නම ‘පැටී’. පැටීගේ අම්ම පැටිත් එක්ක පැටව් 4 ක් දැම්මා. අවාසනාවන්ත විදිහට ඉන් 3 ක්ම මැරුණා. ඉතිරි වුනේ පැටී විතරයි. ඒ නිසා පැටී 4 දෙනෙක්ගේ කිරි තනියම බීලා ඉක්මනට ලොකු වුණා. හොඳටම හුරතල් වුණා. එයාගේ වයස මාස පහක් විතර වෙනවා. මගේ පොඩි උන් දෙන්නට හුරතල් පෙන්නලා බත් කවපු පැටී දැන් ලංකාවෙම පොඩි උන්ට සතුටක් ගේනවා. තිරිසනෙක් වුනත් ‘පැටී’ට තිබුණෙ මහ පුදුම දෛවයක්.
කොහොම හරි අන්තිම වුණේ මගේ පොඩි උන්දෙන්න හුරතල් කර කර ඉඳපු පූස් පැටියා ලංකාවෙම හුරතලේ වුණා. දැන් හැම සතියකටම දවස් දෙකක් මම ගිහින් එයාව අරන් එනවා. ආයි ගිහින් දෙනවා. ගෙදර ඉඳපූ පූස් පැටියා ෂුටින් ගියා. මේ වෙද්දි එයා පොල්පිතිගම ෂුටින්. ආයි එනකං පොඩි උන් දෙන්නා බලන් ඉන්නවා. මම හිතන්නෙ අපේ ‘පැටී’ දැන් සරණ කියලා නමත් වෙනස් කරගෙන සෑහෙන්න කාර්යබහුල චරිතයක් වෙලා. මටත් හරි සතුටුයි පිටරට නයෙක්ට වඩා ලංකාවේ පූසෙක් වීරයෙක් වෙච්ච එක. සෝරත පොඩි හාමුදුරුවෝ ඇතුළු ළමා චරිත රඟදක්වන දරුවන් තමයි මේ හැම වර්ණයක්ම කදිමට නිර්මාණය තුල සිත්තම් කලේ. ඒ ගෞරවය ඒ දරුවන්ට සම්පූර්ණ ලෙස ලැබෙන්න ඕන. ඔවුන්ව ඒ විදිහට හසුරවන තිළිණවත් මතක් කරන්න ඕන. පොඩි දරුවන් සහ පූස් පැටියෙක් මේ විදිහට හසුරවන එක අභියෝගයක් තිලා. උඹලා සෙට් එක ඒ අභියෝගය ලස්සනට ගොඩ දැම්මා. ආසයි. ලස්සනයි. සුන්ඳරයි. ඉතින් ස්තුතියි.
සමන් එදිරිමුණි
සිඳු පිටපත් රචක.