Friday, July 29, 2016

වකුගඩු රෝගයේ සුලමුල සොයයි

වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීම සඳහා ජාන සහ ප‍්‍රවේණි උපයෝගී කරගත් නව පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය සහ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් සිදු කරයි.
තවමත් වකුගඩු රෝගය ඇතිවීමට නිසි හේතුකාරකයක් සොයාගෙන නොමැති අතර මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ එහි යම් හෝඩුවාවක් සොයාගැනීමයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞම්‍යා වික‍්‍රමසිංහ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදු කරයි. මේ සඳහා මුල්‍ය දායකත්වය සපයනු ලබනුයේ ජාතික පර්යේක්ෂණ සභාව මගිනි.
‘‘දැනට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් සිටිනවා. එහෙත් මෙම රෝගයට හේතුව තවම හොයාගෙන නැහැ. පාරිසරික හේතු මත බොහෝ පර්යේෂණ කෙරුණත් වකුගඩු රෝගයට බලපාන ජාන සහ ප‍්‍රවේණි විද්‍යාත්මක අංශය ගැන පර්යේෂණ සිදුවෙලා තියෙන්නේ අඩුවෙන්. මා සිතන පරිදි මෙම රෝගයට පරිසරය සහ ජාන අතර අන්තර් සබඳතාවක් තියෙනවා. අපි මෙම පර්යේෂණය තුළින් වකුගඩු රෝගයට බලපාන මෙම අන්තර් සම්බන්ධතාවය ගැන පර්යේෂණ සිදු කරනවා. එහිදී අපට ආවේණික හේතුකාරකයක් සොයාගැනීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා.
වකුගඩු රෝගීන් සම්බන්ධව පර්යේෂණ සිදුකරන අපේ විශේෂිත පර්යේෂණ කණ්ඩායමක් ඉන්නවා. ඒ අනුව ගිරාඳුරුකෝට්ටේ ගින්නෝරුව ප‍්‍රදේශයෙන් එම සාම්පල් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම පර්යේෂණය හරහා රෝගීන්ගේ සක‍්‍රීයව ප‍්‍රකාශනය වන ජාන මෙන්ම පරිසරයේ ජාල ප‍්‍රභවවල සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩී.එන්.ඒ පිටපත්වල තොරතුරු විශ්ලේෂණය කිරීමටත් සැලසුම් සකස්කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නවීන තාක්‍ෂණය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ඩේවිස් සහ නවසීලන්තයේ මැසී යන විශ්ව විද්‍යාලවල සහාය ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම පර්යේෂණය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත්, මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ප‍්‍රදීපා ගුණතිලක සහ වෛද්‍ය සම්පත් ලොකු ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙයට සහයෝගය ලබාදෙනවා.’’ යැයි සෞම්‍යා වික‍්‍රමසිංහ මහත්මිය පැවැසුවාය.
2016 ජූලි මස 28 15:48:15 | . , ගයාන් සූරියආරච්චි

Sunday, July 24, 2016

Mickie


රජයේ පශු වෛද්‍ය නිලධාරී වැඩ වර්ජනයක් එයි. අන්තිම රතු නිවේදනය ගහයි.


තම වෘත්තීය ගැටළු සදහා දෙසතියක් තුල විසදුමදක් ලබා නොදුනහොත් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ ලේකම්වරයා විසින් ග‍්‍රාමීය ආර්ථිකය පිළබද අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

ජනාධිපතිවරයාට අගමැතිවරයාට මහ අදාල බලධාරීන්ට මෙම ලිපිය යොමු කර ඇත්තේ මාධ්‍ය වෙතද පිටපත් සහිතවයි.

මේ එම ලිපියයි.


ලේකම්,
ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය,
සතොස මහලේකම් කාර්යාලය,
3 වන මහල, අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.


රජයේ පශු වෛද්‍ය නිලධාරීන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙනි


උක්ත මැයෙන් අප විසින් ඔබ වෙත යොමු කරන ලද 2016/07/01 දිනය දරන ලිපිය හා බැඳේ.
  1. ඒ අනුව 2016/05/16 වන දින සිට ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ (රේබීය අමාත්‍යංශය* සිදුකරනු ලබන සියලූ ව්‍යාපෘතිවලින් ඉවත් වන බව අප විසින් දැනුම් දෙන ලද අතර මේ වන තෙක් එහි සඳහන් අපගේ ඉල්ලිම් කෙරෙහි ප‍්‍රතිචාරයක් දන්වා ඇති බවට අප වෙත වාර්තා වී නොමැති බව දන්වන්නේ කණගාටුවෙනි.
  2. මේ වන විට අප විසින් ගන්නා ලද වෘත්තීයමය ක‍්‍රියාමාර්ගය නිසා ග‍්‍රාමීය ගොවි ජනතාවට රජයෙන් ලැබිය යුතු ප‍්‍රතිලාභ අහිමි වී ඇති බව ගොවීන් විසින් අප වෙත දිගින් දිගටම කරන ඉල්ලීම්වලින් පැහැදිළි වේ. එබැවින් ග‍්‍රාමීය ගොවි ජනතාව තවදුරටත් එසේ අපහසුතාවයට ලක්වීම වැළැක්වීම සඳහා එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය 2016/07/20 වන දින සිට අත්හිටුවනු ලබන බව කාරුණිකව දැනුම් දෙමු.
  3. තවද, අප විසින් ඉදිරිපත් කරන ලද,
  • ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා 2006 වර්ෂයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයට එක්වූ නිලධාරීන්ට ද I වන ශ්‍රේණියට ඇතුළත් වීමට හැක් වන පරිදි අන්තර්කාලය 2016/12/31 දක්වා දීර්ඝ කිරීම,
  • ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන් SL2 වැටුප් පරිමාණයේ පිහිටුවීම,
  • පළාත් රාජ්‍ය සේවයේ ඇති දිස්ත‍්‍රික් පශු වෛද්‍ය නිලධාරී තනතුර I වන පන්තියේ තනතුරක් බවට පත්කිරීම,
  • ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින I වන ශ්‍රේණියේ සියලූම තනතුරු එකවර පිරවීම
යන ගැටළු සඳහා අද දින සිට සති 02ක කාලය තුළ යම් ප‍්‍රගතියක් පිළිබඳව අප වෙත දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර එසේ නොවුවහොත් කණගාටුවෙන් වුවද අපගේ ඉල්ලිම් දිනාගැනීම සඳහා වෙනත් වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව කණගාටුවෙන් ප‍්‍රකාශ කර සිටින අතර 03 වන සතියේදී තත්ත්වය පරීක්‍ෂා කර බලා 2016/08/09 සහ 10 යන දෙදින දිවයින පුරා සියලූ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංකේතාත්මක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරනු ලබන බව ද කාරුණිකව දන්වා සිටිමු.

මෙයට,

විධායක කමිටුවේ අණ පරිදි,

වෛද්‍ය පී.එල්. කුමාරවඩු,
ලේකම්,
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Wednesday, July 13, 2016

බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ බළලාගේ රැකියාව රැකේ



බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඩවුනින්ග් ස්ට්‍රීට්හි අංක 10 පිහිටි එරට අගමැති නිල නිවසේ විසූ ලැරී නම් සුරතල් බළලාගේ අනාගතය පිළිබඳව මේ දිනවල වැඩි කතා බහක් ඇතිව තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද (13) පටන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ද එම නිල නිවසෙන් ඉවත්වීම සිදු වෙනවා. 


ඒ අනුව 2010 වසෙර් කැමරන් අගමැති ධුරයට පත්වීමෙන් පසුව 2011 වසරේ පටන් අගමැති නිල නිවසේ ප්‍රධාන මී දඩයම්කරුවා ලෙස කටයුතු කළ ලැරීගේ පැවැත්ම පිළිබඳව මෙලෙස ප්‍රශ්නාර්ථයක් මතු වුණා.කෙසේ වෙතත් කැමරන් නිල නිවසෙන් ගියද ලැරී අද පත්වෙන නව අගමැතිනි තෙරේසා මේ සමගින්ද ඉදිරියටත් එහි රැඳී සිටිනු ඇතැයි කැබිනට් මණ්ඩල කාර්යාලය ඊයේ (12දා) නිවේදනය කළා. "මේ බළලා සිවිල් සේවා බළලෙක් ඒ නිසා ඌ හිටපු අගමැති කැමරන්ට පමණක් අයිති වෙන්නේ නෑ. ඌ දිගටම අගමැති නිල නිවසේ ඉඳීවි" කැබිනට් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.


දුඹුරු සහ සුදු පැහැයට හුරු පෘෂ්ටිමත් සිරුරක් හිමි ලැරී 2011 වසරේදී අගමැති කාර්යාලය වෙත ගෙන්වා ගත්තේ සුනඛයන් සහ බළලුන් සඳහා වෙන් වූ නිවාසයකින් බව සඳහන්. ලැරී සතු දඩයම් කිරීමේ සුවිශේෂී හැකියාව නිසාම අගමැති නිල නිවසේ මීයන් ඇල්ලීමේ රාජකාරිය සඳහා ඌ මෙලෙස රැගෙන විත් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේම එම රාජකාරිය ඉටු කළ ස්ටාල්වෝර්ට් රැටර් හම්ප්‍රි නම් බළලා 1997 වසරේ විශ්‍රාම යාමෙන් අනතුරුව ප්‍රථම වරට එම ධුරයට පත්වූ බළලා ලෙසින්ද මෙම ලැරී සැලකෙනවා.


ලැරී සිය නිල නිවෙස වෙත පැමිණි අවස්ථාවේදී ඉතා ඉහළින් ඌ පිළිගත් හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ඩවුනින්ග් වීදියේ අංක 10 කණ්ඩායම වෙත සම්බන්ධ කර ගත් විශේෂිත අයෙකු ලෙසින්ද ඌ හඳුන්වා දී තිබුණා. කැමරන්ගේ නිල ධුර කාලය තුළ අවස්ථා කිහිපයකදීම පැවැත්වූ මාධ්‍ය හමුවලදී කැමරා ඇසට හසුවෙමින් කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙන්නටත් ලැරී සමත් වුණා.